Saturday, July 25, 2015

ෆොයර්බාක් තිසීස කොමියුනිස්ට්වාදී දේශපාලනයට කවුළුවක් ලෙස 03

ෆොයර්බාක් තුන්වන තිසීස මෙසේය.

එම භෞතිකවාදී දැක්මට අනුව මිනිසුන් වනාහි තත්වයන්ගේ (ස්භාවයන්ගේ) හා ශික්ෂණයේ නිෂ්පාදනයන්ය. සහ එම හේතුවෙන් වෙනස් මිනිසුන් යනු වෙනත් තත්වයන්ගේ හා වෙනත් ශිකෂණයේ නිෂ්පානයන්ය. සහ එය අමතක කරන්නේ එම මිනිසුන් ඔවුන් විසින්ම තත්වය වෙනස් කරනවා යන්න සහ එම ශික්ෂකයාම ශික්ෂිත වී තිබිය යුතුමය යන්නයි. එම නිසා මෙම භෞතිකවාදී මතය අනිවාර්ය ලෙස සමාජය කොටස් දෙකක් බවට විභේදනය වීම වෙත පැමිනෙන්නේ මෙම විභින්න කොටස් දෙකින් එකක් සමාජයට වඩා ඉහලින් පිහිටන ලෙසයි.(උදාහරන ලෙස රොබට් ඕවන්) තත්වයන්ගේ වෙනස් වීමේ සහ මිනිස් කි‍්‍රයාකාරීත්වයේ සමපාතය (එකවිට සිදුවීම) සංකල්පගත විය හැකිවන්නේ සහ සබුද්ධිකව අවබෝධ කර ගත හැකි වන්නේ විප්ලවකරණීය ව්‍යවහාරයක් ලෙස පමනි.

තුන් වන ෆොයර්බාක් තිසීසයේ සාකච්ඡා වන කාරණය සරලව නිර්වචනය කරමු.

එම භෞතිකවාදී දැක්මට අනුව මිනිසුන් වනාහි තත්වයන්ගේ (ස්වභාවයන්ගේ) හා ශික්ෂණයේ නිෂ්පාදනයන්ය. සහ එම හේතුවෙන් වෙනස් මිනිසුන් යනු වෙනත් තත්වයන්ගේ හා වෙනත් ශිකෂණයේ නිෂ්පාදනයන්ය. 

මෙහි එම භෞතිකවාදි දැනුම ලෙස සඳහන් වන්නේ ෆොයර්බාක්ගේ අදහසය. ඒ අනුව මිනිසුන් තත්වයන්ගේ හා ශික්ෂණයේ නිෂ්පාදන බවත් මිනිසුනගේ වෙනස් කම් වෙනස් තත්වයන් හා ශික්ෂණයන් නිසා ඇති වන බව කියවේ. ධනවාදය තුල ජීවත් වන මිනිසා ධනවාදයේ ස්වභාවය එනම් සූරා කෑමට ලක් වීම ,අසමානතාවය ,නොනිදහස (පරාරෝපනය) එහි ශික්ෂණය එනම් අධ්‍යාපනය, ආගම, නිති රීති මගින් කෙරෙන ශික්‍ෂණය තුල මිනිසා නිර්මාණය වන බව කියවේ. එනම් ධනවාදය නොවන වෙනත් තත්වයන් තුල හා වෙනස් ශික්‍ෂණයන් තුල වෙනස් මිනිසෙක් නිර්මානය වේ. යන්න මෙහි අදහසයි.

එය අමතක කරන්නේ එම මිනිසුන් ඔවුන් විසින්ම තත්වය වෙනස් කරනවා යන්න සහ එම ශික්ෂකයාම ශික්ෂිත වී තිබිය යුතුමය යන්නයි.  

එම තත්වය තුල ඉහත අදහස් එනම් ෆොයර්බාක්ගේ අදහස් අමතක කරන්නේ මිනිසුන්ගේ මැදිහත් වීම තුල ස්වභාවයන් වෙනස් කරනවා හා ශික්‍ෂකයාම ශික්ෂණය වීම අනිවාර්යය බවයි. තවත් සරල ලෙස කිවහොත් මිනිසා ස්වභාවයන් හා ශික්‍ෂණයන් විසින් නටවන නූල් රූකඩ නොව (මිනිසා අකී‍්‍රය සාධකයක් නොව) මිනිසා ද සකී‍්‍රය සාධකයක් බවයි.

එම නිසා මෙම භෞතිකවාදී මතය අනිවාර්ය ලෙස සමාජය කොටස් දෙකක් බවට විභේදනය වීම වෙත පැමිනෙන්නේ මෙම විභින්න කොටස් දෙකින් එකක් සමාජයට වඩා ඉහලින් පිහිටන ලෙසයි.(උදාහරන ලෙස රොබට් ඕවන්)

එම නිසා ෆොයර්බාක්ගේ භෞතිකවාදි මතය විසින් සමාජය කොටස් දෙකකට වෙන් කරයි. ඉන් එකක් සමාජයට ඉහලින් පවතින ලෙස උත්කරෂණයට නැගේ ඉහත සඳහන් කල ආකාරයට තත්වයන් එනම් ස්වභාවය හා මිනිසා ,ශික්‍ෂකයා හා ශික්ෂණයට ලක් වන්නා ලෙසයි. මෙහිදී තත්වයන් හා ශික්‍ෂකයන් සමාජයේ ඉහලින් පිහිටන ලෙස සලකයි. ධනවාදයද ( ඕනෑම ආධිපත්‍යක් සහිත සමාජයක්)ආකෘති ගත වී ඇත්තේ මෙම ෆොයර්බාකියානු ආකෘතියට අනුවය. ඒ ලෝකය දෙකට බෙදා ඉන් පැත්තක් උත්කරශයට නැගීමයි. ආරම්භ වූයේ රෙනේ ඩෙකාර්ට්ස්ගේ මනස /ශරීරය ලෙස දෙකට කැඞීම තුලින්ය. ආගමික සම්ප‍්‍රදායන් තුල දෙවියන් හා මිනිසුන් ලෙස සම්භාව්‍ය මාක්ස්වාදි සම්ප‍්‍රදාය තුල පීඩකයන් හා පිඩිතයන් ලෙස මෙම ද්විකරණය කි‍්‍රයාත්මක වේ. මෙහිදී පීඩිතයා හා පීඩකයා වෙන් කරන අතර මෙහිදී පිඩිතයා පීඩනයට ලක්වීමට ඇති කැමැත්ත අමතක කරනු ලැබේ. මෙහිදි රොබට් ඕවන් නම් මනෝරාජික සමාජවාදියා තත්වයන් හා මිනිසාගේ ඉරණම සම්භන්දයෙන් ෆොයර්බාක්ගේ අදහසට සමාන ලෙස කි‍්‍රයාකිරීමට උත්සාහ කලේය. මිනිසුන් වෙනස් කරනවා වෙනුවට තත්වයන් වෙනස් කිරිම ඔහුගේ අරමුණ විය. ඔහු එයට විවිධ ආකෘතීන් හදුන්වා දුන්නේය.

තත්වයන්ගේ වෙනස් වීමේ සහ මිනිස් කි‍්‍රයාකාරීත්වයේ සමපාතය (එකවිට සිදුවීම) සංකල්පගත විය හැකිවන්නේ සහ සබුද්ධිකව අවබෝධ කර ගත හැකි වන්නේ විප්ලවකරණීය ව්‍යවහාරයක් ලෙස පමනි. 

තත්වයන් මිනිසුන් වෙනස් කරනවා පමනක් නොව මිනිසුන්ද තත්වයන් වෙනස් කරනවා යන සමපාතය එනම් එකවිට සිදුවීම අවබෝධකරගත හැකි වන්නේ විප්ලවීයකරණිය ව්‍යවහාරයක් ලෙස පමනි. බොහෝවිට වාමාෂික දේශපාලනය තුල මිනිසුන් උත්සාහ කරන්නේ තමා වෙනස් නොවී තත්වයන් වෙනස් කිරිමටය. ඔවුන් තමන් හා තත්වයන් අතර බෙදුමක් නිර්මාණය කරගන්නා අතර ඒ තුලින් දේශපාලනය සංකල්ප ගත කරයි. යම් දේශපාලන මැදිහත්මක් යමෙකුගෙන් ඉල්ලා සිටි විට බොහෝ අය කියන කතාවක් වන්නේ හරි සහෝදරයා තත්වය(සමාජය) වෙනස් වෙද්දී අප සම්බන්දවෙන්නම් කියාය. නමුත් සත්‍ය වන්නේ තත්වය වෙනස් කිරිමට ඇති බාදාව ඔහුගේ කි‍්‍රයාකාරිත්වය බවයි. අධ්‍යාපනය තුල බොහෝ අය සිතන්නේ ගුරුවරයා සියල්ලටම වගකිව යුතුබවයි. (ශික්‍ෂකයා ශික්‍ෂණයට ලක්වන්නා හා ශික්‍ෂකයා උත්කරශයට නැගීම) නමුත් ශිෂ්‍යාගේ කි‍්‍රයාකාරීත්වය ද අධ්‍යාපන කි‍්‍රයාවලියට බලපායි. එම නිසා ශික්‍ෂිතයාද ශික්‍ෂණයට ලක් විය යුතුය.

විප්ලවකරණිය ව්‍යවහාරය ලෙස මාක්ස් ෆොයර්බාක්ට ගෙන එන විවේචනය වන්නේ සමාජය වෙනස් කිරීමට අපගේ මැදිහත්වීම හා තත්වයන් වෙනස් කිරීම එකවිට සිදුවීම එනම් අපද වෙනස් වෙමින් තත්වයන් වෙනස් කිරීම කල යුතු බවයි. වෙනත් ලෙසකින් කියන්නේ නම් ධනවාදය පවතින්නේ අප එය දරා සිටින නිසා බවය. අපගේ ව්‍යවහාරික ජීවිතය හා ධනවාදය වෙන්කල නොහැකිය. එසේ වෙන්කිරීම මාක්ස්ට අනුව පැරනි ෆොයර්බාකියානු භෞතිකවාදයයි එය මාක්සියානු භෞතිකවාදය නොවේ.