Tuesday, June 30, 2015

එකම දේ නැවත ලිවීම හෙවත් ෆොයර්බාක් තිසීස තුල සඳහන් ව්‍යවහාරික ජීවිතය/ලෞකික ජීවිතය/ආත්මීය ජීවිතය/ඉන්ද්‍රීය මූලික ජීවිතය/සැබෑ ජීවිතය යනු කුමක්ද?

මුලින්ම කිව යුත්තේ ව්‍යවහාරික ජීවිතය/ලෞකික ජීවිතය/ආත්මීය ජීවිතය/ඉන්ද්‍රීය මූලික ජීවිතය/සැබෑ ජීවිතය යන මෙම සියල්ලෙන්ම අදහස් වන්නේ එකම අදහසක් යන්නය. වාමාෂික අර්තයෙන් දයලෙක්තික ජීවිතය යන අර්තයද මෙයට සමානය.

අප ජීවිතය පිලිබඳ විවිධ අර්තයන් නිර්මාණය කර ඇත්තේමු. ආගම විසින් අර්ත නිරූපණය කල ජිවිතයක්ද අපට ඇත. ආගමානුකූලව ජීවත් විම යනු එම අර්ත නිරූපනයන්ට සමපාත වන ලෙස ජීවත් විමයි. නමුත් අපගේ එදිනෙදා ජිවිතයේ එනම් (ව්‍යවහාරික ජීවිතය/ලෞකික ජීවිතය/ආත්මීය ජීවිතය/ඉන්ද්‍රීය මූලික ජීවිතය/සැබෑ ජීවිතය) ජීවිතය ආගම මගින් අර්ත නිරූපණය කල ජිවිතයට සමපාත නොවේ. ඒසේ කල ද නොහැක. එම නිසා ආගම් වලට පව් සමාකිරිම් /විනයකර්ම/ආචාර ධර්ම අවශ්‍යය. ආගමික ප‍්‍රථිසංස්කරණයන්ද අවශ්‍ය. එමෙන්ම ආගම හා ජීවිතය අතර පරතරය සාදාරණිකරණය කර ගැනීමට ආගමික පරමාදර්ශයන් (ශුද්ධ වූ පවුලක් /දෙවියන්)හා එම ආගම හා ජීවිතය තුල්‍ය කිරිමට බාදා කරන සාතන් ,දේවදත්තයන් හෝ පව්කාරයන් අවශ්‍යය.

අපට විද්‍යාව විසින් අර්ත නිරූපණය කල ජීවිතයක් ඇති අතර පෙර උදාහරන පරිදිම අපගේ සැබෑ ජීවිතය හා විද්‍යාව සමපාත නොවන අතර හැම විටම පරතරයක් ඇත. මෙම පරතරය නිසා කලින් කල විද්‍යාව තුල නව අර්ථකතනයන් එනම් විද්‍යාත්මක සොයා ගැනීම් සිදුවන අතර නිව්ටෝනියානු සුසමාදර්ශයට එරෙහිව අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයද ඊට එරෙහිව කොන්ටම් භෞතික විද්‍යාවද පැන නගින්නේ එම නිසාය. පෙර පරිදිම පරමාදර්ශි විද්‍යාවක් හා එයට එරෙහිව ආගම් ආදි මිථ්‍යා විශ්වාසයන් විද්‍යාවේ පැවැත්මට අවශ්‍යය.

නීතිය මගින් අර්ත නිරූපණය කල ජීවිතයක් අපට ඇත. ඒ අනුව අප ජීවත් විය යුතුය. නමුත් ජීවන අත්දැකීම් අපට පෙන්වා දෙන්නේ කුමක්ද? නීතිමය අර්ත නිරූපණයන්ට ජීවිතය ආවරණය කර හැකිද? නැත්නම් නීත්‍යානුකූල ජීවිතය හා අපගේ එදිනෙදා ජීවිතය ඒනම් (ව්‍යවහාරික ජීවිතය/ලෞකික ජීවිතය/ආත්මීය ජීවිතය/ඉන්ද්‍රීය මූලික ජීවිතය/සැබෑ ජීවිතය) අතර පියවිය නොහැකි පරතරයක් ඇතිබවය. සෑම මනුෂ්‍යයෙකුටම නීතිමය නොවන අඳුරු පැත්තක් ඇත. නීතියට සමානපාතික ලෙස ජීවත්විමද කල නොහැකි අතර එම නිසා නීතිය හා සැබෑ ජීවිතය අතර ඇති මෙම පරස්පරය විසඳීමට නීතිය,අධිකරණය,පොලිසි හමුදා වැනි ආයතන මෙම ක‍්‍රමයට අවශ්‍යය. නීතිය විවිධ අයුරින් අර්ත නිරූපනය කරමින් හා දඩුවම් කරමින් ඒවා නීතිමය අර්ත නිරූපණයන් ජීව්තයට තුල්‍ය කිරීමට උත්සාහ ගනී. අනෙක් අතට නීතිය හා ජීවිතය අතර ඇති මෙම පරතරය සමහන් කර ගැනිමට සමපේක්‍ෂණාත්මක පරමාදර්ශයන් ද අවශ්‍ය එනම් නීත්‍යානුකූලව ජීවත් වන පුද්ගලයෙකු හෝ ආදර්ශයක් නිර්මාණය කර ගැනීම කල යුතුය. එය සැබෑවක් නොවේ. එමෙන්ම මෙම නීතිය හා සැබෑ ජීවිතය තුල්‍ය කිරීමට බාදාකරන්නෙකුද නිර්මාණය කරගැනීම අවශ්‍යය. ඒවා නිරූපණය වන්නේ අපරාධකරුවන් නීතිය වැරදියට අර්ත නිරුපනය කරන්නන් මගිනි.

සත්‍ය/සැබෑව සංකල්පයකට,න්‍යායකට,අදහසකට තුල්‍ය නොවන නිසා මිනිසාට ආගම, විද්‍යාව,නීතිය ආදී සියළු සංකල්ප ගත කිරීම් පවත්වාගෙන යාමට පරිපූර්ණත්වයක් එනම් පරමාදර්ශයන් අවශ්‍ය වන අතර සැබෑ ජීවිතය තුල මෙම නොපෑහීම් එනම් ආගම ජීවිතයට සමපාත කිරීම , විද්‍යාව ජීවිතයට සමපාත කිරීම,නීතිය ජීවිතය සමපාත කිරිම සැබෑවක් නොවන නිසා එය සාදාරණිකරණය කරගැනීමට බාදාවක් නිර්මාණය කර ගැනිම අවශ්‍යය. ඒම නිසා සැබෑ ජීවිතය යනු අසම්පූර්ණ යථාර්තයකි.

අප නිර්මාණයකර ඇති අනෙකුත් සියළු සංකල්පකරණයන්ටද මෙය අදාල වන අතර පරමාදර්ශී ආදරයක් සඳහා එයට බාදාවක් අවශ්‍ය වන අතර ටයිටනික් ආදරයේ පැවැත්ම වෙනුවෙන් දහස්ගණනක මිනිසුන්ගේ හා දේපල වල විනාශයක් අවශ්‍ය විය. එසේ සිදු නොවුනි. නම් අපට හමුවන්නේ මධ්‍යම පාන්තික රෝස් හා පහල පාන්තික ජැක් නිව්යෝක් නගරයට ගොස් ගැටුම් සහිතව ගත කරන ජීවිතයකි. පරමාදර්ශී ආදරයක් නොවේ.

සැබෑ ජීවිතය (ව්‍යවහාරික ජීවිතය/ලෞකික ජීවිතය/ආත්මීය ජීවිතය/ඉන්ද්‍රීය මූලික ජීවිතය) මෙසේ හැම විටම අප සංකල්පකරණයකරන,අප අර්තකථනයන්ට ,ආකෘතිගතකිරිම් වලට,න්‍යායගත කිරීම් වලට යටත් නොවේ.

අවසාන වශයෙන් කිවයුතුවන්නේ වාමාෂික දේශපාලනයද යථාර්තයේ පරිපූර්ණත්වය වෙනුවෙන් සතුරන් භාහිරින් නිර්මාණය කිරිම නිසා මෙතෙක් සිදුවූ ගැටලූව බවය. පරමාදර්ශී ට්‍රොස්කිවාදය වෙනුවෙන් එයට බාදාකරණ ස්ටාලින්වාදයක් අවශ්‍ය වන අතර ජනතා විමුක්ති පෙරමුණට පරිපූර්ණත්වය උදෙසා වරෙක ප‍්‍රභාකරන් ,ජාත්‍යන්තර සතුරන් , පක්‍ෂ පාවාදෙන්නන් හා එක්සත් ජාතික පක්‍ෂය අවශ්‍ය විය. නලින්ද සිල්වාගේ පරමාදර්ශී දේශපාලනය ආරක්‍ෂාකර ගැනීමට විජාතික කුමන්ත‍්‍රණ හා වාමාෂිකයින් අවශ්‍යය විය.

එම නිසා අප වටහා ගත යුත්තේ සැබෑ ජීවිතය හා පරමාදර්ශි ජීවිතය කිසි විටකත් තුල්‍ය නොවන නිසා අපට එම කාන්සාවෙන් ගැලවීමට අප සතුරන් එනම් බාදාකරන්නන් නිර්මාණය කරගන්නා බවය. පරමාදර්ශය මෙන්ම බාදාවද අපගේ නිර්මානයන් මිස සැබෑව නොවේ. අප කලයුත්තේ දේශපාලනය මෙම විශම චක‍්‍රයෙන් ගලවා ගැනීමයි. වෙනත් ආකාරයකින් පැවසුව හොත් අප සංකල්පකරණය කරන ලෝකය එනම් භාෂා ලෝකයේ ආකෘතිය ද්විකරණයමත පදනම් වි ඇති අතර එම ප‍්‍රථිපක්‍ෂයන්ගෙන් පැත්තක් අධිනිශ්චය කිරිම මත ගොඩනැගෙන දේශපාලනයන්ට අප පෙර සඳහන් කල ආකාරයට ව්‍යාජ සතුරන් නිර්මාණය කිරීමට සිදුවේ.

සංකල්ප ලෝකය හා සැබෑ ලෝකය අතර පියවිය. නොහැකි පරතරය පියවීමට උත්සාහ දැරීම කල නොහැක්කක් බවත් භාහිර සතුරන් යනු අපගේම නිර්මාණයන් බවත් වටහා ගැනිම මේ මොහොතේ විප්ලවීය වනු ඇත.

No comments:

Post a Comment